මැදිරිගිරිය ඓතිහාසික පසුබිම
අතීත හෙළ උරුමය
මැදිරිගිරිය වටදාගෙය.... අපේ අතීත හෙළ තාක්ෂණයේ මහිමය විදහා පාන තවත් එක් නිර්මාණයක්.. එය මැදිරිගිරිය නගරය සඳහා ඇති එකම ඓතිහාසික හෙළ උරුමය බව විවාදයක් නැත... හබරණ පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය දක්වා ගමන් කර... මින්නේරිය නගර මධ්‍යයේ දී වම්පසින් හමුවන මාර්ගයේ හැරී කිලෝමීටර් 04 ක පමණ දුරක් ගියවිට හිඟුරක්ගොඩ නගරය හමු වේ. හිඟුරක්ගොඩ නගරයේ ඇති ඔරලෝසු කණුව අසලින් වම් පසට හැරී කිලෝමීටර් 14 ක පමණ දුරක් ගිය විට මැදිරිගිරිය නගරය හමුවන අතර මැදිරිගිරිය නගරයේ සිට අඹගස්වැව දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 03 ක් පමණ ගියවිට මාර්ගය අසලම මැදිරිගිරිය පුරාවිද්‍යා ස්ථානයේ ප්‍රවේශ දොරටුව දැකිය හැකිය.
මැදිරිගිරිය පුරාවිද්‍යා ස්ථානය වඩාත් ප්‍රකට වන්නේ ඓතිහාසික මැදිරිගිරිය වටදාගය නිසාය... ඉතා දිගු ඉතිහාසයක් ඇති මැදිරිගිරිය පුරාවිද්‍යා ස්මාරක අතර කාගේත් සිත් ඇඳගන්නා නිර්මාණයක් ලෙස මැදිරිගිරිය වටදාගය හැඳින්විය හැක... මැදිරිගිරිය ඓතිහාසික පසුබිම ඉතා දිගු ඉතිහාසයක් දක්වා දිවයයි... මැදිරිගිරිය නොහොත් මණ්ඩලගිරි විහාරයේ ඉතිහාසය පිළිබඳව මුලින්ම අපට තොරතුරු ලැබෙන්නේ මහා වංශයේ 36 වන පර්ච්ඡේදයෙනි... ක්‍රි.ව. 164-192 අතර රජකල කණිෂ්ඨ තිස්ස රජු භික්ෂුන් වහන්සේලා උදෙසා උපෝස්ථාගාරයක් ඉදිකළ බව එහි සඳහන් වේ. එදවස මණ්ඩලගිරි විහාරය ඉතා සුප්‍රසිද්ධ ස්ථානයක්ව පැවති බවට මෙමඟින් අපට සිතිය හැක.
මැදිරිගිරිය වටදාගය ක්‍රි.ව. 667-683 අතර රජකල හතරවන අග්බෝ රජ දවස මලය රාජ නම් ප්‍රාදේශීය රජ කෙනෙකු විසින් ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ... මැදිරිගිරිය වටදාගය මධ්‍යයේ ඇති කුඩා ස්තූපය අසල කළ කැණීම් කටයුතු වලදී ඉපැරණි බ්‍රාහ්මීය අක්ෂර සහිත උළු කැට කිහිපයක් හමුවී ඇත. ක්‍රි.ව. 853-887 අතර රජකල දෙවන සේන රජු මණ්ඩලගිරි විහාරයට ගම්වර ගණනාවක් සහ බොහෝ ධන සම්පත් පරිත්‍යාග කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි.ව. 1055-1110 අතර රජකළ මහා විජයබාහු රජතුමා ද මෙම විහාරස්ථානයේ උන්නතිය උදෙසා කටයුතු කොට ඇත. නවවන හා දහවන සියවස්වල මණ්ඩලගිරි විහාරය ඉතා දියුණු මට්ටමක පැවති අතර ආරෝග්‍ය ශාලාවක් පවා මෙම ස්ථානයේ පැවතී ඇත...
පොළොන්නරු යුගයේදී ද මැදිරිගිරිය නොහොත් මණ්ඩලගිරි විහාරය ඉතා දියුණු මට්ටමක පැවති බවට ඉතිහාසයෙන් අපට සාක්ෂි හමු වේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජ සමයට පෙර... මහා විජයබාහු රජතුමාගෙන් පසු අතර වූ කාල පර්ච්ඡේදය පොළොන්නරුව ඉතිහාසයේ රාජ්‍යත්වය උදෙසා බොහෝ කැළඹීම් ඇති වූ කාල වකවානුවක් ලෙස හැඳින්විය හැක... රුහුණේ බලය තහවුරු කරගත් මහා පරාක්‍රමබාහු රජුට මුළු දිවයිනේම පාලන බලය තමා සතු කරගැනීමට අවශ්‍ය විය... ඒ සඳහා තම සොහොයුරකු වන දෙවන ගජබා (ක්‍රි.ව. 1132-1153) රජු සමඟ සටන් වැදීමට ඔහුට සිදු විය. ඉතා දරුණු සටන් මධ්‍යයේ පොළොන්නරුව අත්පත් කර ගැනීමේ ඉතා ආසන්න අවස්ථාවට පරාක්‍රමබාහු රජු පැමිණිය ද එම අවස්ථාවේ සිදුවන ජීවිත හා දේපළ විනාශය දුටු මහා සංඝරත්නය ඊට මැදිහත් විය... රජුන් දෙදෙනා අතර සාකච්ඡා පවත්වා සමගි කොට දෙවන ගජබා රජුට හා මහා පරාක්‍රමබාහු රජුට කොන්දේසි පැනවීය. එම කොන්දේසි වූයේ මිය යන තුරුම දෙවන ගජබා රජුට පොළොන්නරු රාජධානියේ රජකම ලබාදිය යුතු බවත්... ඔහුගෙන් පසු අනිවාර්යයෙන්ම මහා පරාක්‍රමබාහු කුමරුට පොළොන්නරු රාජධානියේ රජකම ලබා දීමට ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතු බවත් ය... මේ සම්බන්ධයෙන් තමාගෙන් පසු මහා පරාක්‍රමබාහු රජුට සිහසුන හිමිවන පිරිදි දෙවන ගජබා රජු විසින් මණ්ඩලගිරි විහාරයේ ගල් සන්නසක් කළ බවට වංශකතා වල සඳහන් වේ. නමුත් තවමත් එම ගල් සන්නස මැදිරිගිරිය පුරා විද්‍යා කැණීම් තුළින් සොයා ගැනීමට හැකිවී නොමැති අතර එම සන්නසේ පිටපතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සංගමුව රජමහා විහාරයේ තිබී සොයා ගෙන ඇත.
එසේම ශිලා ලේඛන ඉදිකරවීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධම රජු වන නිශ්ශංක මල්ල රජුගේ ශිලා ලේඛන වලද මණ්ඩලගිරි විහාරය පිළීබඳව සඳහන් වේ. එමෙන්ම දහතුන්වන සියවසේ දී රචනා කරන ලද පූජාවලියේ ද මණ්ඩලගිරිය විහාරය සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කළ අති පූජනීය ස්ථානයක් ලෙස දක්වා ඇත.
උපුටා ගැනීම අන්තර්ජාලය මඟිනි.
thanks yous....
ReplyDeletethanks yous....
ReplyDelete